හිටපු ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් සය දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ 2025.06.26 වන දින කොළඹ මහාධිකරණයේ දී නඩු පවරන ලදි.
හිටපු ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් සය දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ 2025.06.26 වන දින කොළඹ මහාධිකරණයේ දී නඩු පවරන ලදි.
අයුතු වත්කම් රැස්කිරීමේ චෝදනාව මත සිදුකෙරෙන විමර්ශනයකට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ සීමාහේවගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත යන අය 2025.06.26 වන දින ප.ව. 1.17 ට පමණ කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. අල්ලස් පනතේ 23 (අ) වගන්තිය සමග කියැවිය යුතු දූෂණ විරෝධී පනතේ 109 වගන්තිය අනුව අල්ලස් මගින් හෝ/සහ දූෂණ විරෝධී පනතේ සඳහන් වැරදි මගින් වත්කම් රැස්කිරීමට අදාලව මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සිදුකෙරේ.
ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාළ වූ අධිකරණයට ඉදිරිපත් කර ඇති භාණ්ඩයක් වන ට්‍රැක්ටර් රථයක රස පරීක්ෂක වාර්තාව කඩිනමින් ලබාගෙන එම ට්‍රැක්ටර් රථය මුදා හැර දෙන බවට පවසා පැමිණිලිකරුගෙන් රු.610,000/- ක (රුපියල් හයලක්ෂ දහදාහක) මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත, සිදු කෙරෙන පරීක්ෂණයකට අදාළව හලාවත දිසා / මහේස්ත්‍රාත් අධිකරණයේ සිතාසි, ඇස්කීසි ක්‍රියාත්මක කරනු ලබන නිලධාරියෙකු වන නිශ්ශංක ජීවක කණ්ඩුල සිල්වා යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.06.25 වන දින පෙ.ව.10.05 ට පමණ කොමිෂන් සභාවේ දී අත්අඩංගුවට ගන්නා ලදි.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂී සූරසිංහ විජේරත්න විසින් EVD සහ VP SHUNT ශල්‍ය උපකරණ භාවිතයෙන් ස්නායු ශල්‍ය කර්මයන් සිදුකරන ලදුව, එම අයිතම බාහිර ආයතන වලින් ලබාගැනීමට සැලැස්වීම තුළින් රෝගීන්ට අලාභ සිදුකිරීම ඇතුලුව තවත් චෝදනා කිහිපයක් යටතේ විමර්ශන කටයුතු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මේ වන විට සිදුකරමින් පවතී.
අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් සිදුකරනු ලබන වැලි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු ඉදිරියට කරදරයකින් තොරව සිදු කිරීමට සහ එම ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු නොකර සිටීම සඳහා රු.25,000/- (රුපියල් විසි පන්දහස) ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා භාර ගැනීම සහ එයට අනුබල දීම යන චෝදනා මත අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරි කරනු ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙකුව 2025.06.21 වන දින මධ්‍යහ්න 12.20 ට පමණ අම්පාර නගරයේ ඔරලෝසු කණුව අසල දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාලව හිටපු අමාත්‍ය කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනෙකු වන චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, අමලි නයණිකා රඹුක්වැල්ල සහ අමලි රඹුක්වැල්ල යන අයගේ ස්වාමිපුරුෂයා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයවලුන් 2025.06.19 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාලව හිටපු අමාත්‍ය කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා වී හේන මහත්මිය සහ දියණියක වන චන්දුලා රමලි රඹුක්වැල්ල මිය යන අයවලුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් 2025.06.18 වන දින පෙ.ව. 11.30 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී.
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ ක්‍රියාත්මක කර ඇති වේරන්ස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව ආයතනයක් තෝරාගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම හා එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් කිසිදු මුදලක් වෙන් කර නොතිබිය දී එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් රුපියල් ලක්ෂ 276 ක මුදලක් වැය කිරීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් ‘දූෂණය’ නැමැති වරද සිදු කිරීම යන චෝදනාව යටතේ සිදු වන විමර්ශනවලට අදාළව ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වශයෙන් කටයුතු කළ සුජිත් ප්‍රියන්ත මුතුමාල යන අය 2025.06.17 වන දින පෙ.ව 11.45 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් කොමිෂන් සභාවේ දී අත්අඩංගුවට ගන්නා ලදි.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න, එම රෝහලේ කළමනාකරණ සහකාරවරයෙකු වන කැකුලන්දල ලියනගේ ඉන්දික සහ ඉහත වෛද්‍යවරිය අනීතිකව පවත්වා ගෙන ගිය පුද්ගලික ආයතනයක සේවය කළ කඩවත ප්‍රදේශයේ පදිංචි මුතුකුඩ ආරච්චිගේ නිමල් රංජිත් මුතුකුඩ යන තිදෙනා 2025.06.17 වන දින කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
සෞඛ්‍යය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී, රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම පිලිබඳව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ඳව මේ වන විට කොමිශන් සභාව විසින් සිදුකරගෙන යන විමර්ශනයට අදාළව ඔහුගේ නිවසක සේවිකාවක වශයෙන් කටයුතු කළ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුබසිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන තැනැත්තිය 2025.06.11 දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 82 (1) ප්‍රකාරව නියෝග මඟින් නියම කරනු ලැබූ වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශ ආකෘතිය කොමිෂන් සභාව විමසා අමාත්‍යවරයා විසින් සාදන ලද අතර, එය දූෂණ විරෝධී පනතේ 156 (1) හා (2) වගන්ති ප්‍රකාරව 2025.03.20 දින අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2428/43 හි පළ කරන ලදී.
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ ක්‍රියාත්මක කර ඇති වේරන්ස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව ආයතනයක් තෝරාගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම හා එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් කිසිදු මුදලක් වෙන් කර නොතිබිය දී එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් රු.27,600,000/- ක (රුපියල් ලක්ෂ 276) මුදලක් වැය කිරීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් “දූෂණය” නැමැති වරද සිදු කිරීම හේතුවෙන් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී එම්.ආර්. ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.06.05 වන දින කොමිෂන් සභාවේ දී අත්අඩංගුවට ගන්නා ලදි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954