2021.08.06 වන දින කොළඹ මහාධිකරණ විනිසුරු ගරු ඒ.කේ.එම්. පටබැඳිගේ මහතා විසින් මාතර දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සේවය කළ එච්.එන්. සුනිල්ලාල් නමැති කම්කරු නිලධාරියෙකුට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් එකී කම්කරු නිලධාරියාට එරෙහිව ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රයේ සියලුම චෝදනාවන්ට වරදකරු කරමින් තීන්දුවක් නිකුත් කරන ලදී.
මෙම නඩුවේ පැමිණිලිකරු ත්‍රීවිල් රථ සහ යතුරු පැදි අලුත්වැඩියා කිරීමේ සහ සේවා කටයුතු කිරීමේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන අයෙකු වන අතර එම ආයතනයේ සේවය කරන සේවකයන්ට අර්ථසාධක අරමුදල් ගෙවීම් ගණනය කිරීමේ කටයුත්තේදී එකී පැමිණිලිකරුගෙන් රු. 60000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා රු. 30000/- ක මුදලක් ලබා ගැනීම වෙනුවෙන් එකී චූදිතට එරෙහිව අල්ලස් පනතේ 19(ආ) සහ 19 (ඇ) වගන්තිය යටතේ අධි චෝදනා ගොනුකරන ලදී.
එකී අල්ලස් ඉල්ලීම පිළිබඳ පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සිදු කිරීමෙන් අනතුරුව ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතාගේ මූලිකත්වයෙන් අනෙකුත් නිලධාරීන් වන උපායදූත ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් අමරසිංහ, උප පොලිස් පරීක්ෂක වීරතුංග, පොලිස් සැරයන් හසාම්, පොලිස්කොස්තාපල් රන්දික යන නිලධාරීන් විසින් වැටලීමක් සංවිධානය කොට එකී වැටලීමේදී චූදිතව අත් අඩංගුවට ගෙන ඇත.
මෙම නඩුවේ චූදිත වන ඉහත නම සඳහන් කම්කරු නිලධාරියාට විරුද්ධව 06.06 දින ගරු මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන ලද අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එකී නිලධාරියාව වරදකරු කරමින් වසර 14 ක බරපතල වැඩ ඇතිව සිරදඞුවමක් ගරු අධිකරණය විසින් නියම කරන ලදී. ඉහත සිරදඞුවමට අමතරව අධිචෝදනා පත්‍රයේ සෑම චෝදනාවකටම රු. 5000/- බැගින් දඩ නියම කරන ලද අතර දඩ ගෙවීමට අපොහොසත් වන්නේ නම් මාස 06 බැගින් ලිහිල් සිරදඞුවම් නියම කිරීමට නියෝග කරන ලදී. අල්ලස් පනතේ 26 වගන්තිය යටතේ රු. 30000/- ක මුදලක් දණ්ඩනයක් වශයෙන් ගෙවීමටද නියෝග කරන ලදී.
මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවීම සහකාර අධ්‍යක්ෂ (නීති) අනූෂා සම්මන්දප්පෙරුම මහත්මිය විසින් සිදුකරන ලදී.