අල්ලස හා දූෂණයට මිනිසුන් යොමුවීමට ඇති අවකාශයන් අවුරා දැමීම හා අධෛර්යමත් කිරීම නිවාරණය තුළ ඇති මුඛ්‍ය කාරණාවන් වේ. මේ සඳහා සමාජය තුළ චර්යාත්මක හා ආකල්පමය පරිවර්තනයක් සිදුවිය යුතුය. මෙය මැනවින් තේරුම්ගෙන ඇති කොමිෂන් සභාව, දූෂණ රහිත සමාජයක් ගොඩනැගීම සඳහා නිවාරණය ඉතා වැදගත් කර්තව්‍යක් ඉටුකරන බව පෙන්වාදී ඇත. මහජනතාව, සිවිල් සමාජය හා ප්‍ර‍ජා මූල සංවිධාන සමග කොමිෂන් සභාවේ ඇති හවුල්කාරීත්වය පුළුල් නිවාරණ ක්‍රියාවලියක් සඳහා වඩාත් වැදගත්වනු ඇත.

නිවාරණය සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් දක්වන්නාවූ කාර්යක්‍ෂමතාව රැඳී පවතින්නේ ශක්තිමත් ආයතනික හා නෛතික රාමුවක් මෙන්ම කොමිෂන් සභාවේ අධිකාර බලය දරා සිටින්නාවූ ආයතන, නීති, රෙගුලාසි හා චක්‍රලේඛවලින් සුසැදි “ජාතික සුපිළිපන් පද්ධතිය” ශක්තිමත් කිරීම හරහා ය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්ථාපිත කළ ආරම්භයේ සිටම අන්තර්ජාතික සංවිධාන කිහිපයක් සමග ඒකාබද්ධ වී දූෂණය පිටුදැකීම පිණිස වන කාර්යයන් ශක්තිමත් කිරීම සඳහා කටයුතුකර ඇත. 2015 වසරින් පසු අල්ලස් කොමිෂන් සභාව විසින් මෙවැනි කාර්යයන් ඉටු කිරීමේ දී සිවිල් සමාජ සංවිධාන ද සම්බන්ධකර ගැනීමට කටයුතුකර ඇත. මෙහි පළමු පියවර ලෙස, 2015 දෙසැම්බර් 9 වන දින ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයේදී සිවිල් සමාජ සංවිධාන, පොදු මහජනතාව, දේශපාලකයන් හා ජාත්‍යන්තර ප්‍ර‍ජාව සම්බන්ධකර ගනිමින් සිදුකරනු ලැබූ දූෂණ විරෝධි පා ගමන හැදින්විය හැකිය. එතැන් පටන් සිවිල් සමාජ කේන්ද්‍ර‍කරගත් ක්‍රියාකාරකම් හා දැනුවත්කිරීම් සඳහා අල්ලස් කොමිෂන් සභාව විසින් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, ජාතික රාජ්‍ය නොවන සංවිධාන හා දේශීය ප්‍ර‍ජා පාදක සංවිධානවල සහාය ලබා ගැනීමට කටයුතු කරනු ලැබීය. ආසියානු සංවර්ධන බැංකුව (ADB), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය, සර්වෝදය, විකල්ප ප්‍ර‍තිපත්ති කේන්ද්‍ර‍ය, නීතිය හා සමාජ භාරය, දූෂණ විරෝධී පෙරමුණ, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය සඳහා වූ සාමූහිකය හා වෘත්තීය සමිති කිහිපයක් මීට ඇතුළත්ය. අල්ලස් කොමිෂන් සභාව සඳහා වන නව උපායික සැලැස්ම වූ “පූර්ණ දූෂණයෙන් තොර සමාජයක් සඳහා වන සත් ප්‍ර‍යාමය” වැඩපිළිවෙල සඳහා මෙම සිවිල් සංවිධාන සිය දායකත්වය සපයා ඇත. (2015 දෙසැම්බර්)

අල්ලස් කොමිෂන් සභාව හා සිවිල් සමාජ සංවිධාන අතර ඇති සම්බන්ධතාවය නිවාරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට  මනා දායකත්වයක් සපයා ඇත. වත්කම් ප්‍රකාශ කීරීමේ පනත සංශෝධනය කිරීමේදී මෙම සිවිල් සමාජ සංවිධාන සමග අල්ලස් කොමිෂන් සභාව ධනාත්මකව හා මනා සහයෝගීත්වයෙන් යුතුව කටයුතු කර ඇත. දැනට කැබිනට් මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කර ඇති සංශෝධන සහිත වත්කම් ප්‍ර‍කාශ කිරීමේ පනත සංශෝධනය කිරීමේදී ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය, නීතිය හා සමාජ භාරය කැපී පෙනෙන අයුරින් දායක විය.

අල්ලස් කොමිෂන් සභාව විසින් ඉංග්‍රිසි, දෙමළ හා සිංහල යන භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විත වෙබ් පිටුවක් පවත්වගෙන යයි. විමර්ශනවලට බාධා නොවන පරිදි නිරන්තර මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම හරහා අල්ලස් කොමිෂන් සභාව විසින් සමාජය වෙත තොරතුරු ලබා දීමේ උනන්දුව පෙන්නුම්කර ඇත. මෙම කර්තව්‍යන්හි විවිධ අවස්ථාවන්වලදී සිවිල් සමාජ එකමුතුව අල්ලස් කොමිෂන් සභාව වෙත සිය සහාය ලබාදී තිබේ.

වර්තමානයේ දී අල්ලස් කොමිෂන් සභාව විසින් ක්‍ෂණික ඇමතුම් අංක1954 පවත්වගෙන යන අතර විද්‍යුත් මාර්ගයෙන් පැමිණිලි කිරීමට විද්‍යුත් ලිපි අංක ciaboc@eureka.lk පවත්වාගෙන යනු ලැබේ.

අල්ලස් කොමිෂන් සභාව විසින් විවිධ ප්‍රදේශයන්හි නිරන්තර මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර නිවාරණ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා මේ වන විටත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත්කර තිබේ.

පාසල් විෂයමාලාව සඳහා අල්ලස හා දූෂණයට එරෙහි අධ්‍යාපනික කරුණු ඇතුලත් කිරීම සඳහා අල්ලස් කොමිෂන් සභාව විසින් ජාතික අධ්‍යාපන ආයතනය සමග සාකච්ඡා සිදුකර ඇත.

අනාගත පරම්පරාව දැනුවත් කිරීම සඳහා කෙටි කාලීන හා දිගු කාලීන ව්‍යාපෘති කිහිපයක් දියත් කිරීමට අල්ලස් කොමිෂන් සභාව හා අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඒකාබද්ධව කටයුතු කර ඇත. කෙටි කාලීන ව්‍යාපෘති යටතේ ඔක්තොම්බර් මාසය දූෂණ විරෝධී මාසය ලෙස නම්කර සියළු පාසැල් අතර ඉසව් 7ක් ඔස්සේ නිර්මානාත්මක තරඟ පැවැත්වීමට කටයුතු කර ඒ හරහා පාසැල් පරිපාලනය තුළ අල්ලස මැඩලීමට ප්‍රවේශයක් ගනු ලැබීය. දීර්ඝ කාලීන ව්‍යාපෘති යටතේ පාසැල් විෂයමාලාවට දූෂණ විරෝධී අධ්‍යාපන කරුණු එකතු කිරීම හා සියළු පැසැල්වල සුපිළිපන් සමාජ ඇතිකිරීම වැනි කාර්යයන් අරමුණු කර තිබේ.

දූෂණ විරෝධී රාජ්‍ය ප්‍රතිපත්තිය ව්‍යවස්ථාව තුළින්ද පෙන්නුම් කරනු ලබයි

  1. පරමාධිපත්‍ය
    ශ්‍රි ලංකා ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ නීතියෙහි මූලික මූලධර්ම අන්තර්ගත ඇත. ඒ අනුව, පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇති අතර එය ප්‍ර‍ජාතාන්ත්‍රිය ආන්ඩුකරණය තුළ විධායකය, ව්‍යවස්ථාදයකය හා අධිකරණය හරහා ක්‍රියාත්මක කරනු ලබයි.

    මහජනභාරය - පරමාධිපත්‍යය ජනතාව තුළින් බිහිවී ඇති බැවින් රජය විසින් සද්භාවයෙන් යුක්තව බලය ක්‍රියාත්මක කළ යුත්තේය. ඕනෑම ආකාර වූ දූෂණ ක්‍රියාවකින් තොරව වාසය කිරීමේ පරම අයිතිය මහජනතාව සතුව ඇත. රජයේ භාවිතයන් හා ක්‍රියාවන් නීතියේ ආධිපත්‍යය පිළිබඳ මූලධර්ම මත පදනම් වී තිබේ.

  2. මූලික අයිතිවාසිකම්
    ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ III වන පරිච්ඡේදය යටතේ රජය විසින් පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමේ දී සැලකිළිමත් විය යුතු මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් දක්වා ඇත. මෙම මූලික අයිතිවාසිකම් පැවරීම හෝ අන්සතු කිරීම කළ නොහැකි අතර ආණ්ඩුවේ බලය අභිබවා සිටින්නේය.

  3. නීතියේ ආධිපත්‍යය
    නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද, නීතියේ රැකවරණයද, සර්ව සාධාරණ විය යුත්තේය. (12(1) ව්‍යවස්ථාව) මෙම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය ආයතන හා නිලධාරීන්ගේ අභිමතානුසාරී බලය පාලනය කරමින් පිළිගත් නීතිරීති හා මූලධර්ම වලට අනුකූලව රජය විසින් කටයුතු කළ යුතුය.  

  4. රාජ්‍ය ප්‍ර‍තිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් - VI පරිච්ඡේදය
    මෙම පර්ච්ඡේදය යටතේ සියළු පුද්ගලයන් දූෂණයෙන් වැලකී සිටීම අපේක්‍ෂා කරන අතර මහජන දේපළ ආරක්‍ෂා කිරීම පරමාර්ථය කරගත් දූෂණ ක්‍රියා අනාවරණය කිරීම ද බලාපොරොත්තු වේ. මෙම අයිතිවාසිකම් හෝ බැඳීම් බලාත්මක කිරීම අසීරු නමුත් සෑම රාජ්‍ය නිලධාරියෙකුම මෙම මූලධර්මවලට අනුකූලතාව දක්වමින් දිව්රුම් දීම කළ යුතුය. මේ හරහා තවදුරටත් සිදුවන්නේ රාජ්‍ය කාර්යාවලියේදී දූෂණයෙන් තොර මාර්ගෝපදේශන මූලධර්ම අනුගමනය කිරීමට මග පෑදීමයි.

  5. රාජ්‍ය සේවය
    ව්‍යවස්ථාවේ IX වන පරිච්ඡේදයෙන් රාජ්‍ය සේවයේ මනා කළමණාකාරීත්වය, විනිවිදභාවය, අඛණ්ඩ නිරීක්‍ෂණය, විනය ක්‍රියාමාර්ග තහවුරු කිරීම පෙරදැරි කරගත් මූලික ආකෘතින් හා මූලික මූලධර්ම හඳුන්වාදී ඇත.

  6. මහජන මුදල් කළමනාකරණය හා මුල්‍ය විනිවිදභාවය
    රාජ්‍ය මූල්‍ය ප්‍ර‍තිපත්ති හා විගණන ක්‍රියාවලියෙහි විනිවිදභාවය, අඛණ්ඩ නිරීක්‍ෂණය, වගවීම ආරක්‍ෂාවන ආකාරය ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ XVII පරිච්ඡේදයෙන් දක්වා තිබේ.

  7. ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ VII හා XIV පරිච්ඡේද යටතේ මහජනයාට සාධාරණ මැතිවරණයක් පවත්වා සිය නියෝජිතයන් තෝරාගැනීමේ අයිතිය තහවුරුකර ඇත.
  1. 19 වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය සිදුකිරීම මගින් නීතියේ ආධිපත්‍යයේ මූලධර්ම, රාජ්‍ය කටයුතු නිසි පරිදි කළමනාකරණය හා විනිවිදභාවය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇත.
  1. 19 වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය හරහා වැඩි සමාජ සහභාගීත්වයක් ඇති කර ගැනීමට කටයුතුකර ඇත.
  1. ශ්‍රි ලංකාව පාර්ශවකරුවකු වන එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී පඥප්තිය හා දූෂණය පිටු දැකීමේ අනෙකුත් සම්මුතීන් සඳහා පිළිගැනීමක් 156 අ (1) (ඇ) ව්‍යවස්ථාවෙන් සිදුකර ඇත.
  1. එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධි පඥප්තියෙහි 5(1) වගන්තියට අනුව යමින් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව යටතේ ස්වාධීන කොමිෂන් සභා 10ක් ස්ථාපනය කර ශක්තිමත් කර සිවිල් පුරවැසියන් 3 දෙනෙකුගේ සහභාගීත්වය සහිත ව්‍යවස්ථා සභාවක් පත්කිරීම හා තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කිරීම මගින් රටතුළ භාවිත නීති පද්ධතියට විශාල දායකත්වයක් සපයා ඇත. තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩු ක්‍ර‍ම ව්‍යවස්ථාවේ 14 අ ව්‍යවස්ථාව මගින් තහවුරුකර තිබේ.
  1. පුද්ගලික අංශයේ දූෂණ වැලැක්වීම සඳහා නීති හා මාර්ගොපදේශ හඳුන්වාදී තිබේ. උදා:- 2007 අංක 7 දරන සමාගම් පනත.
  1. පාලනය සම්බන්ධයෙන් වන මහජන සහභාගීත්වය පුළුල් කිරීම සඳහා 2015 ඔක්තෝම්බර් මස විවෘත රාජ්‍ය ප්‍ර‍කාශනයට ශ්‍රි ලංකාව විසින් අත්සන් තබන ලදී.
  1. මුදල් විශුද්ධිකරණය වැලැක්වීමට වන විශේෂිත නීති. උදා. 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත.

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search