හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි. එච්. කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක යන අය විසින් රු. මිලියන 20ක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන්

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි. එච්. කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක යන පුද්ගලයින්ට විශේෂ ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණයේ පැවති නඩු විභාගයෙන් පසුව ලබා දුන් තීන්දුව අනුව, ආචාර්ය අයි.එච්.කේ. මහානාමට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඩුවම්ද, රු.65,000/-ක දඩයක්ද, රු. මිලියන 20ක දණ්ඩනයක්ද නියම වූ අතර පී. දිසානායක යන අයට වසර 12ක බරපතල වැඩ සහිත සිර දඩුවම් හා රු.55,000/-ක දඩයක් නියම විය.


කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ ආයෝජන කටයුතු සදහා ශ්‍රි ලංකාවට පැමිණි ඉන්දීය ජාතික ව්‍යාපාරික කේ.පී. නාගරාජා මහතා විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු ආරම්භ විය. 1වන වගඋත්තරකරු වන ආචාර්ය අයි.එච්.කේ. මහානාම 2015 වසරේ සිට 2018.03.31 දක්වා ඉඩම් අමාත්‍යංශයේ ලේකම් වශයෙන් කටයුතු කර ඇත. 2018 වසරේ ජුලි මස සිට 2018.05.03 (වැටලීම සිදුවූ දින දක්වා) ඔහු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී විය. වැටලීම සිදුකළ දිනය දක්වා 2වන වගඋත්තරකරු වන පී. දිසානායක යන අය රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති විය. කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ ඉඩම, ගොඩනැගිලි හා යන්ත්‍රෝපකරණ සම්බන්ධ පූර්ණ අයිතිය පැමිණිලිකරුට ලබාදීමට 1වන වගඋත්තරකරු විසින් ඇමරිකානු ඩොලර් මිලියන 3ක අල්ලසක් මුල් අවස්ථාවේදී ඉල්ලා තිබුණි. ඉන් අනතුරුව 1වන හා 2වන වගඋත්තරකරුවන් විසින් රු. මිලියන 100ක අල්ලසක් ඉල්ලා ඉන් රු. මිලියන 20ක මුදලක් 2018.05.03 දින වැටලීම සිදුකළ අවස්ථාවේ උපාය දූතයා ඉදිරියේ ගනු ලැබීය. සටහන් කරනු ලැබූ නෝට්ටු වලින් රු. මිලියන 20ක් තුටුපඩුරු ලෙස ලබාගත් අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරුවන් දෙදෙනාට එරෙහිව අංක 1 දරන ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරන ලදී.
නඩු විභාගය දිනපතා නොකඩවා පවත්වා මාස 3ක් වැනි කෙටි කාලයකින් අවසන් කිරීමට සමත්විය. සාක්‍ෂිකරුවන් 22දෙදෙනෙක්ද, ලේඛන 116ක්ද, නඩු භාණ්ඩ 62ක් ද ඉදිරිපත් කෙරුණි. නඩු විභාගය අවසන්කළ 2019 දෙසැම්බර් මස 19 වැනිදා චූදිතයන් දෙදෙනාම වැරදිකරුවන් කරන ලදී.

නඩුව මෙහෙයවීම ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා, අල්ලස් දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් සුභාෂිනී සිරිවර්ධන මහත්මිය, රජයේ නීතීඥ උදාර කරුණාතිලක මහතා, අල්ලස් දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ නීති අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය සහ අල්ලස් දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ නීති ගයාන් මාදුවගේ මහතා විසින් සිදුකරන ලදී.
විමර්ශන සිදුකිරීම අල්ලස් දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ විමර්ශන පොලිස් අධිකාරී රුවන් කුමාර මහතාගේ මගපෙන්වීම යටතේ අල්ලස් දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් වන ප්‍ර‍ධාන පොලිස් පරික්‍ෂක පුෂ්පකුමාර මහතාගේ නායකත්වයෙන් පොලිස් පරික්‍ෂක තෙන්නකෝන්, කාන්තා පොලිස් පරික්‍ෂක වීරසිංහ, උප පොලිස් පරික්‍ෂක කරුණාරත්න, උප පොලිස් පරික්‍ෂක වීරතුංග, උප පොලිස් පරික්‍ෂක අජිත්, උප පොලිස් පරික්‍ෂක පෙරේරා, කාන්තා පොලිස් කොස්තාපල් හේමමාලී, පොලිස් කොස්තාපල් ඒකනායක, පොලිස් කොස්තාපල් අමරසිංහ යන කණ්ඩායම විසින් සිදුකරන ලදී.ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය මඟින් 2019 දෙසැම්බර් මස 19 වැනිදා වගඋත්තරකරුවන් දෙදෙනාම වැරදිකරුවන් කරමින් දෙන ලද තීරණය අභියෝගයට ලක් කරමින් වගඋත්තරකරුවන් දෙදෙනා විසින්ම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන ලදී. එය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සලකා බලන ලද අතර 2023.01.11 වන දින සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය මඟින් ලබාදෙන ලද තීන්දුව ඒකමතිකව ස්ථිර කරමින් අභියාචනය නිෂ්ප්‍රභා කරන ලදී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර, අල්ලස් දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් සුභාෂිනී සිරිවර්ධන, රජයේ නීතීඥ උදාර කරුණාතිලක, අල්ලස් දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ නීති අනුෂා සම්මන්දප්පෙරුම සහ රජයේ නීතීඥ කසුන් සරත්චන්ද්‍ර යන මහත්ම මහත්මීන් විසින් පැමිණිලිකාර වගඋත්තරකාර වගඋත්තරකරු වන අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වෙනුවෙන් පෙනී සිටින ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search