අල්ලස් කොමිසමට විශේෂඥ විමර්ශකයන් දෙසීයක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු වඩාත් ඵලදායි සහ විධිමත් කිරීමේ අරමුණින් ඉතිහාසයේ ප්‍රථම වතාවට විශේෂඥ විමර්ශකයන් වශයෙන් වෘත්තිකයන් දෙසීයක් කොමිෂන් සභාවට බඳවා ගන්නා බව එහි අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා සඳහන් කළේය. මෙම වසර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හැරවුම් ලක්ෂයක් බව පවසන ජයමාන්න මහතා මෙම සුවිශේෂි බඳවා ගැනීමේ දී ගණකාධිකාරිවරුන්, ඉංජිනේරුවරුන්, බැඳුම්කර විශේෂඥයන් සහ ගිණුම් පරික්ෂකවරුන් වශයෙන් වෘ‍ත්තිකයන් කොමිසමේ සේවයට එක් කර ගන්නා බව ද සඳහන් කරයි.

ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා කොමිෂන් සභාව සමඟ අත්වැල් බැඳ ගන්න පැමි‍ණෙන්නැයි වෘත්තියවේදීන්ගෙන් ඉල්ලා සිටින බව ද අධ්‍යක්ෂ ජනරාල් ජයමාන්න මහතා කීය.

මෙම බඳවා ගැනීම් සම්බන්ධයෙන් ජුනි 09 දා ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධියට පත් කර ඇතැයිද අයදුම් පත් කැඳවීමේ අවසන් දිනය ජුලි 10 දා බව ද ජයමාන්න මහතා පැවැසීය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරනු ලැබු නඩු කෘත්‍යයන්වලින් පසුගිය වසරේ 57 දෙනකු වරදකරුවන් වූ බවත් මේ වසරේ දැනටමත් 40 දෙනකු අධිකරණය මගින් වරදකරුවන් කර ඇති බව ද ජයමාන්න මහතා පෙන්වා දුන්නේය.

අල්ලස් හා දූෂණය මෙරටින් තුරන් කිරීම කොමිෂන් සභාවට පමණක් සිදු කළ නොහැකි බවත් ජනමාධ්‍ය සහ ජන සමාජය ඊට සහයෝගය දැක්විය යුතු බවත් පෙන්වා දෙන ජයමාන්න මහතා සියලුම රාජ්‍ය නිලධාරීන් දූෂණයට විරුද්ධ බවට වන ලාංඡනයක් පැළඳිය යුතු බව ද අවධාරණය කළේය.

සරත් ජයමාන්න මහතා මේ බව සඳහන් කළේ මෙරටින් අල්ලස සහ දූෂණය වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මාධ්‍ය ක්‍රියාකාරීන් සහ සමාජ සංවිධානවල නියෝජිතයන්ගේ අදහස් ලබා ගැනීම සඳහා පැවැත්වූ කතිකාවතේදීය.

කොළඹ මූවන් පික් හෝටලයේ දී ඊයේ (2) මෙම කතිකාවත පැවැත්විණි.

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ ස්වාධීන රූපවාහිනියේ සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මිය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශනක කොමිෂන් සභාවේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search