අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ප්‍රකාශය - ලෝක විශේෂඥ කණ්ඩායමේ රැස්වීම

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවත්, UNODC සහ UNDP යන ආයතන  03 එක්ව පසුගිය ජූලි 25,26 සහ 27 යන දිනවල කොළඹ දී අන්තර්ජාතික විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් සාර්ථක සමුළුවක් පැවැත්විණි. මෙම සමුළුව පැවැත්වූයේ 2012 වර්ෂයේ දී ජකර්තා නුවර දී එළඹෙන ලද ප්‍රකාශය තවදුරටත් අර්ථ විවරණය කරමින් 'කොළඹ විවරණය' සකස් කිරීමටයි. ජකර්තා ප්‍රකාශයේ අරමුණ වන්නේ දූෂණයට එරෙහිව ලෝකයේ විවිධ රටවල පිහිටුවා තිබෙන ආයතන සැබැවින්ම ශක්තිමත් කරන්නේ හා ස්වාධීන කරන්නේ කවර අන්දමින් ද යන්න සාකච්ඡා කිරීමයි. එහි මූලධර්ම 16 ක් අඩංගු වී ඇත. ජකර්තා ප්‍රකාශය එළි දක්වන ලද්දේ එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියේ සඳහන් ප්‍රතිපාදනයන්ට පැහැදිලි අරුතක් ලබා දීම සඳහාය.

කොළඹ දී පැවැත් වූ සමුළුවේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව අල්ලසින් හා දූෂණයෙන් තුරන් කිරීම සඳහා එතුමාට දර්ශනයක් ඇති බවත් ඔහුගේ අභිලාශය වන්නේ ලෝකයේ අල්ලස දූෂණය තුරන් කළ ලැයිස්තුවේ පළමුවන ස්ථානයට ශ්‍රී ලංකාව ගෙන ඒම බවය. ගරු ජනාධිපතිතුමා ප්‍රදර්ශනය කළ දේශපාලන අභිලාශය හා කැපවීමට සමුළුවට සහභාගී වූ අන්තර් ජාතික ප්‍රජාවගේ ප්‍රසාදය හිමිවිය. මෙම සමුළුවේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා විමර්ශන මාර්ගෝපදේශ අඩංගු පුස්තකයක් ද පැමිණිල්ල මෙහෙයවන නීති නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා පැමිණිල්ල මෙහෙයවීමේ අත්පොතක් ද එළිදක්වන ලදී. එම සමුළුව සඳහා ලෝකයේ රටවල් 30 කට අධික සංඛ්‍යාවකින් පැමිණි වෘත්තිකයන්, විශේෂඥයන්, අධ්‍යාපනඥයන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහභාගී වූ අතර ඔවුන් ඉතාමත්ම සක්‍රීය සාකච්ඡා වාරයකට සහභාගී වී ඉතාමත්ම ප්‍රයෝජනවත් යෝජනා ඉදිරිපත් කරන ලදී.

ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයක් වූයේ දූෂණයට එරෙහිව පිහිටුවා තිබෙන ආයතන පැමිණිල්ල හා විමර්ශනය සිදු කිරීම සඳහා පමණක් නොව නිවාරණ ක්‍රමවේදයක්, අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමවේදයක් තමන්ගේ කාර්යභාරය තුළට සක්‍රීය ලෙස ඇතුළත් කර ගත යුතු බවය. එසේම එම ආයතන සැබැවින්ම ස්වාධීන විය යුතු අතර ඒ සඳහා සමස්ත රාජ්‍යතන්ත්‍රයේම හා සමාජයේ දායකත්වය හිමි විය යුතු බවත්ය. වඩාත් තීරණාත්මක ලෙස සාකච්ඡා කළ යුතු කාරණය වූයේ දූෂණයට එරෙහිව කටයුතු කරන ආයතනවල මූල්‍ය ප්‍රතිපාදන සඳහා සිවිල් නිලධාරීන්ගේ කළමනාකාරිත්වය යටතේ තිබෙන රාජ්‍ය ආයතන වෙත රඳා සිටීම වැළැක්විය යුතු බවත් එම මූල්‍ය ප්‍රතිපාදන සෘජුවම පාර්ලිමේන්තුව හෝ ව්‍යවස්ථාපිත ආයතනයක් මගින් ලබා ගත යුතු බවත් එම ආයතනවලට ප්‍රමාණවත් පරිදි මුදල් වෙන් කළ යුතු අතර එය ජාතික අයවැයෙන් අඩුම තරමින් 0.1 % ක ප්‍රමාණයක්වත් විය යුතු බවත් අවධාරණය කරන ලදී.

එයට හේතුව වන්නේ අල්ලස සහ දූෂණය තුරන් කිරීම කාර්යක්ෂම හා ස්වාධීනව කටයුතු කළ යුතුවීමයි. පෙරළා තමන් වෙත වෙන් කරන ලද මුදල් නිසි ලෙස භාවිතා කිරීමට යොමු වීම සඳහා උචිත හා සම්මත ගණකාධිකාරී හා ගිණුම් පිළිබඳ පරීක්ෂාවට ලක් විය යුතු බවත් අවධාරණය කරන ලදී. එසේම සමුළුවේ දී විශේෂ අවධානය යොමු වූ කරුණක් වූයේ අල්ලස හා දූෂණයට එරෙහිව කටයුතු කරන ආයතන සඳහා අවශ්‍ය මානව සම්පත් එනම් කාර්ය මණ්ඩලය බඳවා ගැනීමේ ස්වාධීනත්වය වෙනත් රාජ්‍ය ආයතනවල බලපෑමකින් තොරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබා දිය යුතු බවය.

එසේම එම ආයතනවලට බඳවා ගන්නා නිලධාරීන් උසස් හැකියාවකින් සමන්විත විශේෂඥයින් විය යුතු බවය. තවද මෙම කොමිෂන් සභාව මහජනතාව සමඟ ඉතා සමීප සන්නිවේදනයක් කළ යුතු බවත් මාධ්‍ය සමඟ ද මහජනතාව සඳහා අදහස් සංජානනය කළ යුතු බවත්ය. එසේ කළ යුතු වන්නේ එම කොමිෂන් සභා වලට සමහර අවස්ථාවල දී සිදු විය හැකි තර්ජනයන්ගෙන් හා බලපෑම් වලින් ආරක්ෂා කිරීම සඳහාය.

මෙම සමුළුව නිසා ශ්‍රී ලංකාවට අන්තර්ජාතික අවධානය යොමු වූ අතර විශේෂයෙන්ම අන්තර් ජාතික ප්‍රජාව සමඟ අත්වැල් බැඳ ශක්තිමත් සමීප සබඳතාවක් ගොඩ නඟා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී ඇති බවත්ය.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search