ජකර්තා මූලධර්ම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායම් රැස්වීම

ජූලි 25 සිට 27 දින දක්වා, ටාජ් සමුද්‍රා හෝටලය, කොළඹ, ශ්‍රී ලංකාව

දූෂණයට එරෙහිව කටයුතු කරනු ලබන ආයතන සැබැවින්ම ස්වාධීන හා ශක්තිමත් කිරීම අරමුණු කරගෙන සම්මත කරනු ලැබූ ජකර්තා මූලධර්ම පිලිබඳ වැඩිදුර කතිකාවතක් 2018 ජූලි මස 25 වන දින සිට 27 වන දින දක්වා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC), එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිලිබඳ කාර්යාංශය (UNODC) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ අත්වැල් බැඳගෙන එකී සමුළුව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසට මෙම සමුළුවේ සමාරම්භක උළෙල සඳහා සහභාගී වීමට නියමිතයි.

ලොව පුරා විසිරී සිටින දූෂණයට එරෙහිව කටයුතු කරන වෘත්තිකයන් සහ විශේෂඥවරුන්ගේ සහභාගිත්වයෙන් 2012 වර්ෂයේ දී ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී මුල්වරට පැවැත් වූ සමුළුව දූෂණයට එරෙහි ආයතන ශක්තිමත් කිරීම අරමුණු කරන ලද අතර කොළඹ දී පැවැත්වෙන තෙදින සමුළුව සඳහා ගෝලීය වශයෙන් විසිරී පවත්නා රටවල් 30ක පමණ දූෂණයට එරෙහි ආයතනයන්හි ප්‍රධාන නියෝජිතයින් සහභාගී වීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියෙහි (UNCAC) 6 හා 36 යන වගන්තීන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුම වර්ධනය කරගැනීමේ අරමුණ ඇතිව එම ප්‍රඥප්තිය අත්සන් කරන ලද සාමාජික රටවල් විසින් සිදු කරන ලද ඉල්ලීමක් අනුව “දූෂණ විරෝධී ආයතන වල ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් වූ ජකර්තා ප්‍රකාශය පිළිබඳව විද්වත් කතිකාවතක් ගොඩනැගීම” සඳහා මෙම විද්වත් හමුව පවත්වනු ලබයි. මෙමගින් අන්තර් ජාතිකව පිළිගත් ප්‍රමිතීන් හා සම්මතයන් පදනම් කර ගනිමින් එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සාමාජික රටවල ජකර්තා මුලධර්ම ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම මගින් දූෂණයට එරෙහි ආයතන ශක්තිමත් කිරීම අරමුණු කෙරේ.

අල්ලස දූෂණය තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, කලාපීය වශයෙන් සිදු කරන සක්‍රීය කාර්යභාරය හඳුනාගනිමින් එකී ප්‍රයත්නයන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාදීමක් වශයෙන් එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ආයතනය විසින් මෙම විද්වත් හමුවෙහි සම සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාවට ආරාධනය කොට ඇත. මෙයින් දූෂණයෙන් තොර සමාජයක් ගොඩනැගීම උදෙසා ශ්‍රී ලංකාව අවතීර්ණ වී ඇති මාවතට අන්තර්ජාතික ප්‍රජාවගෙන් ලැබුණු පිළිගැනීම පිළිබිඹු වේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දිවයින පුරා ජනතාවගේ හා වෘත්තිකයන්ගේ අදහස් විමසමින් ජාතික ක්‍රියාකාරී සැලැස්ම කෙටුම්පත් කරමින් සිටින මෙම අවස්ථාවේ එකී ජාතික කර්තව්‍ය ශක්‌තිමත් කර ගැනීමෙහිලා මෙකී සමුළුවේ දී ඉදිරිපත් වන්නා වූ අදහස් හා යෝජනා මහෝපකාරී වේ යැයි විශ්වාස කරමු.

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත නුදුරේදීම නව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතක් සම්මත කර ගැනීමට නියමිත අතර මෙම සමුළුව පැවැත්වීම මගින් ඒකරාශී කරගන්නා වූ අත්දැකීම් සහ අන්තර් ජාතික ප්‍රමිතීන් පිලිබඳ දැනුම තුළින් එම ක්‍රියාදාමයට මහගු ඵල අත්වනු නිසැකය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search