ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවය කල කලමණාකරන සහකාර නිලධාරීවරයෙක්ට එරෙහි ව මහාධිකරණ අංක 03 හි නඩු අංක HCB 231/2023 යටතේ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් ගොනු කල නඩුවේ දී චූදිත වරදකරු කරමින් මහාධිකරණ අංක 03 විනිසුරු ගරු මංජුල තිලකරත්න මැතිතුමා විසින් 2025.02.20 වන දින තීන්දුව ලබා දෙන ලදි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කල වැටලීමක දී මෙම සිද්ධියේ පැමිණිලිකරු ගෙන් රු. 5000ක් ලබා ගැනීම මත 2020.01.20 වන දින ඉහත චූදිතව අත්අඩංගුවට ගන්නා ලදි. පැමිණිලිකරුගේ බිළිඳු දියණියහට ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කර දීම වෙනුවෙන් එම අල්ලස ලබා ගෙන තිබුණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2023.05.24 වන දින අල්ලස් පනතේ 19(ආ) සහ 19(ඇ) වගන්ති යටතේ මහාධිකරණ අංක 3හි අධිචෝදනා ගොනු කරන ලදි.
අධිචෝදනා පත්‍රයේ සඳහන් සියලු චෝදනාවලට තමන් වරදකරු බව 2025.02.20 වන දින චූදිත පිලිගත් අතර ගරු මහාධිකරණ විනිසුරු පහත පරිදි දඬුවම් නියම කරන ලදි.
- එක් එක් චෝදනාව සඳහා වසර දෙක බැගින් බරපතල වැඩ සහිත ව වසර 5ට අත්හිට වූ සිර දඬුවම්
- රු. 20,000/- දඩ මුදලක්
- අල්ලස් පනතේ 26 වන වගන්තිය යටතේ රු.6000/- ක දණ්ඩන මුදලක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ (නීති) ඩයනා කොඩිතුවක්කු මෙනවිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතීඥ නලින්ද ජයතිස්ස මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.