රුපියල් මිලියන 150 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, එය රුපියල් මිලියන 125ට අඩු කර එකී මුදල ලබාගැනීමේ චෝදනාවට වරදකරුවන් වූ ශ්‍රී ලංකා රේගුවේ හිටපු රේගු අධිකාරීන් තිදෙනෙකුට සහ සහකාර රේගු අධිකාරිවරයෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරන ලද නඩුවේ දී කොළඹ මහාධිකරණය විසින් එකී චූදිතයන් වරදකරුවන් කරමින් වසර 35 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කෙරේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා තීරු බදු රහිතව Steel Impex and Industries ඉන්දියානු පුද්ගලික සමාගම මගින් මෙරටට ආනයනය කරන ලද බස් රථ අමතර කොටස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මගින් කරනු ලබන පරීක්ෂණ කටයුතු නතර කිරීමට සහ ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීමට අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් රුපියල් මිලියන 150ක මුදලක් මෙම නඩුවේ පැමිණිලිකරුගෙන් අල්ලස් වශයෙන් ඉල්ලා, එය රුපියල් මිලියන 125ක් දක්වා අඩු කර එම මුදල ඉල්ලා ලබා ගැනීමේ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා රේගුවේ හිටපු රේගු අධිකාරීන් තිදෙනෙකුට සහ සහකාර රේගු අධිකාරිවරයෙකුට එරෙහිව 2021.07.09 වන දින ගොනු කරන ලද අධි චෝදනා පත්‍රයේ සියලු ම චෝදනාවන්ට චූදිතයන් වරදකරුවන් කරමින් ගරු මහාධිකරණය විසින් අද දින වසර 35 බැගින් සිර දඬුවම් නියම කරන ලදි. තව ද, ඉහත දඬුවමට අතිරේකව සියලු ම චූදිතයන්ට රුපියල් මිලියන 125 බැගින් දඩ මුදලක් රජයට ගෙවීමට නියෝග කරන ලදි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ අමතර කොටස් සහ ටයර් සැපයීම සඳහා ගිවිසුම් ගත වන ලද Steel Impex and Industries නමැති ඉන්දියානු සමාගම අපනයනය කරන ලද, තීරු බදු සහ අනෙකුත් බදු වලින් නිදහස් කර ඇති එකී අමතර කොටස් සහ ටයර් ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ සඳහා විකිණීමේ දී තීරු බදු සහ වැට් බදු වංචාවක් සිදු කළ බවට දක්වමින් විමර්ශනයක් චූදිතයන් විසින් වර්ෂ 2014 දී පැමිණිලිකරුට එරෙහිව ආරම්භ කර ඇත. එම රේගු විමර්ශන පවත්වාගෙන යන අතරතුර බදු වලින් නිදහස් කර ඇති බව අනාවරණය වූ පසුව ද, පැමිණිලිකරුගෙන් අල්ලස් මුදලක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් අසද්භාවී ලෙස එම රේගු විමර්ශන අඛණ්ඩව පවත්වාගෙන ගොස් එම රේගු විමර්ශන අවසන් කිරීම සඳහා මුල් අවස්ථාවේ දී රුපියල් මිලියන 150ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව, එය මිලියන 125ක් දක්වා අඩු කොට පැමිණිලිකරුගෙන් ඉල්ලීම සම්බන්ධව ඔහු විසින් 2015.09.22 දින කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත. අනතුරුව කොමිෂන් සභාව විසින් විමර්ශනයක් සිදු කොට, සංවිධානය කරන ලද වැටලීමේ දී චූදිතයන් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව, චෝදනා 14ක් යටතේ චූදිතයන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරන ලදි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර, සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනූජා බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතීඥ උදාර කරුණාතිලක සහ සහකාර අධ්‍යක්ෂ (නීති) අනූෂා සම්මන්දප්පෙරුම යන මහත්ම මහත්මීන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ලදි.