2025 සිට ඉදිරි වසර පහක කාලය තුළ මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත එම ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.04.09 වන දින පෙ.ව.8.00 සිට 11 00 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය. තවද, දිවයින පුරා රාජ්‍ය ආයතන මුල්කර ගනිමින් ජනාධිපති ලේකම්තුමාගේ චක්‍රලේක අංක PS/SB/Circular/2/2025 හා 2025.02.18 දිනැති චක්‍රලේකය ප්‍රකාරව රාජ්‍ය ආයතයන තුල පිහිටුවා ඇති අභ්‍යන්තර කටයුතු ඒකක ද මෙම ප්‍රධාන උළෙලට සමගාමිව දියත් කිරීමට නියමිත අතර ප්‍රධාන උළෙලේ සමගාමී විද්‍යුත් විකාශනයක් සිදු කිරීමට ද නියමිතය.
රටක අභිවෘද්ධිය සහ ප්‍රගමනය උදෙසා අල්ලස හා දූෂණය තුරන් කිරීම වඩාත් තීරණාත්මක සාධකයක් වන අතර, ශ්‍රී ලංකාව තුළ, එකී යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කරනා ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හඳුනාගත හැකිය. ඒ අනුව, අල්ලසින් තොර සමාජයක් නිර්මාණය කිරීම උදෙසා සියලු අංශ හරහා ක්‍රියාත්මක වන ශක්තිමත් ජාතික දූෂණ විරෝධී ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබීය.
ශ්‍රී ලංකාවේ පවතින අල්ලසට හා දුෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ඇති කරන ලද ස්වාධීන ආයතනයක් වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්යභාරය 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත මගින් වැඩි දියුණු කර ඇත. මෙමඟින් අල්ලස් හා දූෂණ සම්බන්ධ වැරදි විමර්ශනය කිරීමේ සහ නඩු පැවරීමේ සිට ශ්‍රී ලංකාව පුරා අල්ලස හා දූෂණ තුරන් කිරීම සඳහා දූෂණ විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ නියාමනය කිරීම දක්වා කොමිෂන් සභාවේ වගකීම් පුළුල් වී ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි, දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCAC) ඇතුළු දූෂණයට එරෙහි ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමේ දී කොමිෂන් සභාව වෙත තීරණාත්මක කාර්යභාරයක් ඉටුකිරීමේ වගකීම ද පැවරී ඇත.
දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 5 වන වගන්තිය යටතේ ඇති බැඳීම්වලට අනුකූලව, 2019 - 2023 කාලය සඳහා සකසන ලද ශ්‍රී ලංකාවේ අල්ලස හෝ දූෂණයට වැළැක්වීම සඳහා වූ පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2019.02.05 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 2019-2023 කාලය සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම මේ වන විට සමාලෝචනය කර ඇති අතර, 2025 සිට ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ප්‍රයත්නවල ඵලදායීතාවය ඉහළ නැංවීමේ අරමුණින් දේශීය හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් 2025-2029 සඳහා වන දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ඇත.
මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම කෙටුම්පත් කිරීමේ දී, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, සියලුම පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව, ජාතික හා පළාත් මට්ටමින් වැඩසටහන් පවත්වන ලද අතර, භාෂා ත්‍රිත්වයෙන් පුවත්පත් දැන්වීම් සහ සමාජ මාධ්‍ය ජාල හරහා දූෂණ ගැටළු පිළිබඳ මහජන මතය තක්සේරු කිරීම සඳහා සිදු කරන ලද පුළුල් සමීක්ෂණයක් ද එයට ඇතුළත් විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විනිසුරුවරු , රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශය, අන්තර්ජාතික සංවිධාන, සිවිල් සමාජ සංවිධාන, ප්‍රජා පාදක සංවිධාන, ආගමික කණ්ඩායම්, විවිධ අවශ්‍යතා ඇති කණ්ඩායම් , ජනමාධ්‍යය, තරුණයින්, ළමුන් ඇතුළු සමස්ත මහජනතාව මෙන්ම විදේශීය රාජ්‍ය අත්දැකීම් ද සහ සියලුම පළාත්වල විවිධ කණ්ඩායම්වලින් රැස් කරන ලද යෝජනා, ජාතික ක්‍රියාකාරී සැලැස්ම කෙටුම්පත් කිරීමේදී සැලකිල්ලට ගන්නා ලදී. 2025-2029 සඳහා වූ දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්මේ අවසාන කෙටුම්පතක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2025.01.21 දින අදාළ පාර්ශ්වකරුවන්ගේ සමාලෝචනය සඳහා ඉදිරිපත් කරන ලදී.
අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කරන ලද අතර අංක 25/0482/801/008 හා 2025.03.24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මෙම දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025-2029 සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
2025-2019 සඳහා වන දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම දූෂණ නිවාරණය, අධ්‍යාපනය සහ ප්‍රජා සහභාගිත්වය, දූෂණයට එරෙහිව කටයුතු කරන ආයතන ශක්තිමත් කිරීම හා නිතිය ක්‍රියාත්මක කිරීම, සහ නීතිය හා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ යන ප්‍රධාන උපායමාර්ගයන් හතරක් ඔස්සේ නිර්මාණය කර ඇත. එය අප රටේ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් සියලුම අංශවල එනම් අමාත්‍යංශ දෙපාර්තමේන්තුව ඇතුළු සියලු රාජ්‍ය අංශයේ , පෞද්ගලික අංශයේ, සිවිල් සමාජයේ සහ අනිකුත් සෑම ක්ෂේත්‍රයකම, සියලු පුරවැසියන්ගේ සහයෝගීතාවය අවශ්‍ය වේ.
මෙම දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කරමින්, දූෂණයට එරෙහිව සටන් කරන, දුෂණය පිටු දකින පුරවැසියන් පිරිසක් , දුෂණයට එරෙහිව සටන් කිරීමට සියලු ආකාරයෙන් සහාය දෙන දේශපාලන කැමැත්තක්, නිතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පසුතලයත් සහ සුපිළිපන්න රාජ්‍ය සේවයක් සමග සියලුම ක්ෂේත්‍රයන්හි සුපිළිපන්බව ඇතිකරමින්, අනාගත පරපුරට සුපිළිපන්න රටක් උදාකරදීමට ඔබ සියලු දෙනාගේම සහයෝගීතාවය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු'