ආචාර්ය අයි.එච්.කේ. මහානාමට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඩුවම්ද, රු.65,000/-ක දඩයක්ද, රු. මිලියන 20ක දණ්ඩනයක්ද නියම වූ අතර පී. දිසානායක යන අයට වසර 12ක බරපතල වැඩ සහිත සිර දඩුවම් හා රු.55,000/-ක දඩයක් නියම විය.
කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ ආයෝජන කටයුතු සදහා ශ්‍රි ලංකාවට පැමිණි ඉන්දීය ජාතික ව්‍යාපාරික කේ.පී. නාගරාජා මහතා විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු ආරම්භ විය. 1වන වගඋත්තරකරු වන ආචාර්ය අයි.එච්.කේ. මහානාම 2015 වසරේ සිට 2018.03.31 දක්වා ඉඩම් අමාත්‍යංශයේ ලේකම් වශයෙන් කටයුතු කර ඇත. 2018 වසරේ ජුලි මස සිට 2018.05.03 (වැටලීම සිදුවූ දින දක්වා) ඔහු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී විය. වැටලීම සිදුකළ දිනය දක්වා 2වන වගඋත්තරකරු වන පී. දිසානායක යන අය රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති විය. කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ ඉඩම, ගොඩනැගිලි හා යන්ත්‍රෝපකරණ සම්බන්ධ පූර්ණ අයිතිය පැමිණිලිකරුට ලබාදීමට 1වන වගඋත්තරකරු විසින් ඇමරිකානු ඩොලර් මිලියන 3ක අල්ලසක් මුල් අවස්ථාවේදී ඉල්ලා තිබුණි. ඉන් අනතුරුව 1වන හා 2වන වගඋත්තරකරුවන් විසින් රු. මිලියන 100ක අල්ලසක් ඉල්ලා ඉන් රු. මිලියන 20ක මුදලක් 2018.05.03 දින වැටලීම සිදුකළ අවස්ථාවේ උපාය දූතයා ඉදිරියේ ගනු ලැබීය. සටහන් කරනු ලැබූ නෝට්ටු වලින් රු. මිලියන 20ක් තුටුපඩුරු ලෙස ලබාගත් අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරුවන් දෙදෙනාට එරෙහිව අංක 1 දරන ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරන ලදී. නඩු විභාගය නොකඩවා මාස 3ක් පමණ පැවති අතර සාක්ෂිකරුවන් 22දෙදෙනෙක්ද, ලේඛන 116ක්ද, නඩු භාණ්ඩ 62ක් ද ඉදිරිපත් කෙරුණි. නඩු විභාගය අවසන්කළ 2019 දෙසැම්බර් මස 19 වැනිදා චූදිතයන් දෙදෙනාම වැරදිකරුවන් කරන ලදී. නඩුව මෙහෙයවීම ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා, සහකාර අධ්යක්ෂ ජනරාල් සුභාෂිනී සිරිවර්ධන මහත්මිය, රජයේ නීතීඥ උදාර කරුණාතිලක මහතා, සහකාර අධ්යක්ෂ නීති අනුෂා සමන්දප්පෙරුම මහත්මිය සහ සහකාර අධ්යක්ෂ නීති ගයාන් මාදුවගේ මහතා විසින් සිදුකරන ලදී. විමර්ශන සිදුකිරීම පොලිස් අධිකාරී රුවන් කුමාර මහතාගේ මගපෙන්වීම යටතේ ප්‍රධාන පොලිස් පරික්ෂක පුෂ්පකුමාර මහතාගේ නායකත්වයෙන් පොලිස් පරික්ෂක තෙන්නකෝන්, කාන්තා පොලිස් පරික්ෂක වීරසිංහ, උප පොලිස් පරික්ෂක කරුණාරත්න, උප පොලිස් පරික්ෂක වීරතුංග, උප පොලිස් පරික්ෂක අජිත්, උප පොලිස් පරික්ෂක පෙරේරා, කාන්තා පොලිස් කොස්තාපල් හේමමාලී, පොලිස් කොස්තාපල් ඒකනායක, පොලිස් කොස්තාපල් අමරසිංහ යන කණ්ඩායම විසින් සිදුකරන ලදී.