අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුමක්

මූල්‍යමය දූෂණ පිටුදැකීම සඳහා දරනු ලබන ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුතු ව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුමක් 2024 ජනවාරි මස 18 වන දින අත්සන් කිරීමට යෙදුනි.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 61 වන වගන්තිය මගින් දක්වා ඇති විධිවිධාන යටතේ මෙම සහයෝගීතාව ඇති කර ගැනීම සිදුවිණි. දෙපාර්ශවය අතර සහයෝගීතාව හා අන්‍යෝන්‍ය බැඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා අත්සන් කල මෙම ගිවිසුමේ, මූලික අරමුණ වන්නේ විමර්ශනවලට අදාල රහස්‍ය තොරතුරු, ආයතන ද්විත්වය අතර හුවමාරු කර ගැනීමයි.

මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම, අල්ලස හා දූෂණය යන වැරදි සිදු ව ඇති බවට සැක කරනු ලබන මූල්ය ගනුදෙනුවලට අදාල තොරතුරු එක්රැස් කිරීම හා හුවමාරු කර ගැනීම මෙම සහයෝගීතාවයේ විෂයපථය වන අතර එය ගිවිසුමෙහි සවිස්තරාත්මක ව දක්වනු ලබයි.

මූල්‍ය අපරාධ හා සම්බන්ධ බහුවිධ අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා මෙවැනි ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාවය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙන් ම මූල්‍ය බුද්ධි ඒකකය ද නිවැරදි ව හඳුනාගෙන ඇත. දෙපාර්ශවය සතු අත්දැකීම් හා විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම ද අවශ්‍ය විට ඒකාබද්ධ විමර්ශන සිදු කිරීම සඳහා අවශ්‍ය වටපිටාව ද මෙම ගිවිසුම්ගත වීම තුලින් සකස් කර දී ඇත.

මූල්‍ය අපරාධ මැඩලීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා මූල්‍ය බුද්ධි ඒකකය අතර ඇති කරගනු ලබන සහයෝගීතාව තුල වූ ප්‍රගාමික ප්‍රවේශය පෙන්වා දෙමින් මෙම අවබෝධතා ගිවිසුම 2024 වසරේ ජනවාරි මස 01 වැනි දින සිට බලපැවැත් වීම සිදු වනු ඇත. අප රට තුල සිදු කරනු ලබන මූල්‍යමය කටයුතුවල විනිවිදභාවය හා වගවීම තහවුරු කිරීම සඳහා දෙපාර්ශවය තුල වූ කැපවීම මෙම ගිවිසුම්ගත වීම තුලින් විද්‍යාමාන කරනු ලබයි.

අල්ලස, දූෂණය හා ඒ හා සම්බන්ධ වැරදි මුලිනුපුටා දැමීම සඳහා කටයුතු කිරීමේ බලය පැවරී ඇති එක ම ආයතය වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරන විමර්ශනවල සාර්ථකත්වය හා කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමටත් වගවීම හා සුපිලිපන්නභාවය ඉහළ නැංවීමටත් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම තුලින් සුවිශේෂී බලපෑමක් සිදු කල හැකි වනු ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search