තංගල්ල සුරාබදු කාර්යාලයට අනුයුක්තව කටයුතු කල නිලධාරියකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණය හමුවේ අල්ලස් නඩුවක් පවරා තිබු අතර, එසේ නඩු පවරා ඇත්තේ අදාළ පැමිණිලිකාරියගෙන් ඇගේ සැමියාට එරෙහිව නීති මගින් කටයුතු නොකිරීමට රුපියල් 5000 ක මුදලක් තුටු පඬුරක් ලෙස බාරගැනීම සම්බන්ධවය. එය 2024.10.23 දින අභියාචනාධිකරණය විසින් ස්ථීර කිරීමට කටයුතු කර ඇත.
මෙම අල්ලස් ලබාගැනීම 2012 වසරේ අප්‍රේල් මාසයේදී ගැටමාන්න , ඇල්දෙනිය ප්‍රදේශයේදී සිදුවී ඇත. සුදු බීඩි ළඟ තබාගැනීම හේතුවෙන් නඩු නොපවරන ලෙසට පැමිණිලිකරුගෙන් රුපියල් 5000 ක තුටු පඬුරක් ඉල්ලීම මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලක් මත වැටලීමක් සංවිධානය කර සැකකරු අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
සැකකරුට එරෙහිව චෝදනා 12 ක් යටතේ අධිචෝදනා පත්‍රයක් ගොනුකර තිබු අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ගරු මහා අධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් 2019.01.22 දින විත්තිකරු 1- 7 සහ 9 වන චෝදනාවලට වරදකරු කරමින් අංක 8, 10-12 යන චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කර ඇත.
දෙපාර්ශවය විසින් කරන ලද වාචික සහ ලිඛිත දේශන සලකා බලමින් මහාධිකරණයේ එම තීන්දුවට එරෙහිව විත්තිකරු අභියාචනයක් ගොනු ඉරීමට කටයුතු කර තිබුණි. එහිදී ගරු අභියාචනාධිකරණ විනිසුරුවරයා අධි චෝදනාවේ චෝදනා 1 සිට 6 දක්වා චෝදනා වලට විත්තිකරු වැරදි කරු කිරීම තහවුරු කර තිබේ.
මෙම නඩුව වෙනුවෙන් ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා චූදිත අභියාචක වෙනුවෙන් පෙනී සිටි අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රුවිනි වික්‍රමසිංහ මහත්මිය පෙනී සිටිමින් කරුණු දක්වා ඇත.