ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය තුරන් කර සුපිළිපන්න ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ පරමාර්ථය යථාර්ථයක් කරලීමේ අරමුණ ඇතිව තවත් සුවිශේෂී නිවාරණ වැඩසටහනක් පසුගිය ඔක්තෝබර් මස 20 වන දින පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේ දී පවත්වන ලදි. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබූ දෙදින පුහුණු වැඩමුළුව තුළ “සුපිළිපන් රාජ්‍ය සේවයක්” යන තේමාව යටතේ හරවත් දේශනයකට වැඩමුළුවේ දෙවන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉඩහසර ලබා දී තිබුණි. ඒ අනුව, සුපිළිපන්භාවය, අල්ලස හා දූෂණය සම්බන්ධ නෛතික රාමුව සහ අල්ලස හා දූෂණයෙහි විපාකයන් ඔස්සේ මෙම දේශනය පවත්වනු ලැබීය.
මෙම වැඩසටහන සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්තුමන් ඇතුළුව එම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් තවත් නිලධාරීන් සහභාගී වූ අතර, සම්පත්දායකත්වය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරීන් වන ටී.එම්.නිපුනි කෝෂිලා තෙන්නකෝන් මෙනවිය සහ එන්.ඩී.එන්.සී.ජයසිංහ මහත්මිය විසින් ලබා දෙන ලදි.