ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂනය නොවූ මෝටර් රථ විශාල ප්‍රමාණයක් ව්‍යාජ ක්‍රම මගින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමෙන් රජයට මූල්‍ය පාඩු සිදු කිරීම

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂනය නොවූ මෝටර් රථ ඇතුළු වාහන 400කට ආසන්න ප්‍රමාණයක් අනීතික ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කොට ලියාපදිංචි කර ඇති බවට ලැබුණු තොරතුරක් මත, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ආරම්භ කරන ලද විමර්ශනයේ දී වාහන 178ක් පිළිබඳව නිශ්චිත තොරතුරු අල්ලස් කොමිෂන් සභාවේ බුද්ධි අංශයේ විමර්ශන නිලධාරීන් විසින් මේ වන විට අනාවරණය කරගෙන තිබේ.

අද දින අල්ලස් කොමිෂන් සභාව විසින් එකී වාහන 178 න් වාහන 51කට අදාළව බී වාර්තා 51ක් ගොණු කරමින් කරුණු දක්වනු ලැබුවේ එකී වාහන සඳහා රේගු නිශ්කාෂනයක් සිදු වී නොමැති බවට ශ්‍රී ලංකා රේගුව මගින් වාර්තා ‍කොට ඇති බවත්, එබැවින් මෙම රථ මෙරටට නීත්‍යනුකූල නොවන ආකාරයට රේගු නිශ්කාෂනයක් නොමැතිව ශ්‍රී ලංකාවට ආනයනය කර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමෙන් රජයට අය විය යුතු බදු මුදල් අහිමි කර ඇති බවත් ය.

එබැවින් එම විමර්ශන සිදු කරන ලද කාලය තුළ, එම වාහන පැවරීමේ කටයුතු සිදු කර , අස්ථානගත කිරීමට ඉඩ ඇති බැවින් මෙම වාහන පැවරීමේ කටයුතු සිදු කිරීම තාවකාලිකව අත්හිටුවීමට නියෝගයක් ඉල්ලා සිටිමින් අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වන ලදි.

එබැවින් එම වාහන 51හි පැවරීම් කටයුතු අත්හිටුවීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් හට, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා විසින් අද දින (2024.04.05) නියෝග ලබා දෙන ලදී. එලෙස පැවරීම් කටයුතු අත්හිටුවීම සඳහා නියෝග ලද වාහන අතර, ජීප් රථ 03ක්, ලෑන්ඩ් කෲසර් රථ 24ක්, මොන්ටෙරෝ රථ 18ක්, සුඛෝපභෝගී කැබ් රථ 06 ක් වේ.

මෙම වාහන අනීතිකව ලියාපදිංචි කිරීම හේතුවෙන් රජයට ආසන්න වශයෙන් රුපියල් කෝටි 300ක පමණ බදු පාඩුවක් සිදුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search