2025.10.09 - කොළඹ - ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී සටනේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර අවබෝධතා ගිවිසුමක් කොමිෂන් සභා ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී අත්සන් තබන ලදි.
දූෂණය පිටු දැකීම සඳහා අධ්‍යාපන ක්‍රමයේ ඉහළම ස්ථානය තෝරා මෙරට තාරුණ්‍ය බල ගැන්වීම සිදු කරන, දිවයින පුරා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහභාගී වූ මෙම උත්සවය, ශ්‍රී ලංකාව ඒ සඳහා මෙතෙක් අනුගමනය කල ප්‍රවේශයේ වැදගත් වෙනසක් සලකුනු කරයි.
ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක්
මෙම පියවර ශ්‍රී ලංකා දූෂණ විරෝධී ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි. රජයේ විශ්වවිද්‍යාල වලින් බිහි වූ තරුණ පරම්පරාව අතීතයේ පටන් අප රටේ සිදු වූ ප්‍රධාන දේශපාලනික හා සමාජ පරිවර්තන වලදී පෙරමුණ ගෙන ඇති බැවින්, මේ සඳහා මෙම ආයතනවල දායකත්වය ලබා ගැනීම අතිශයින් වැදගත් වේ. අතීතයේ පටන් ශ්‍රී ලංකාවේ සිදු වූ සංවර්ධනයන් ---හෝ පසු බැසීම්--- ආරම්භ වූ භ්‍රෑන පෝෂය වූයේ විශ්වවිද්‍යාල සිසුන් හා තරුණ ව්‍යාපාරයන්ය. රජයේ විශ්වවිද්‍යාලවල කැපී පෙනුනු සෑම තරුණයෙක් ම අප රටේ අනාගතය පරම්පරා ගණනාවක් ඔබ්බට සකස් කල අතිශය වැදගත් පංගුකරුවන් වී ඇත.
තිරසර වෙනසක් සිදු කිරීම ඇරඹිය යුත්තේ දේශයේ අනාගත උරුමය භාරගන්නා පිරිස හරහා බව, සුපිලිපන් අධ්‍යාපනය විශ්වවිද්‍යාල ක්‍රමය තුලට විධිමත් ව ඇතුලත් කිරීම තුලින් මෙම අවබෝධතා ගිවිසුම පිලිගනු ලබයි.
පරිවර්තනීය අරමුණු
උසස් අධ්‍යාපන පද්ධතිය පුරාම දූෂණ විරෝධී හරයන් කාවැද්දීම සඳහා සාධනීය වැඩ පිලිවෙලක් මෙම ගිවිසුම මගින් ඇති කරයි. ඒ අතරින් ප්‍රධාන වන්නේ:
1.සුපිලිපන්නබව මත පදනම් වූ අධ්‍යාපන වටපිටාවක්
සුවිශේෂී පාඨමාලා, සුපිලිපන් ශිෂ්‍ය සමාජ, සුපිලිපන්නබව ඉලක්ක කරගත් පර්යේෂණ සම්මේලන ඇතුළුව, සුපිලිපන්නබව පදනම් කරගත් අධ්‍යාපනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා සමස්ථ විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය ම සහය දෙනු ඇත. විශ්වවිද්‍යාල ජීවිතයේ සෑම අංගයක් තුලට ම දූෂණ විරෝධී මුලධර්ම පැතිරීවීම මෙම සාකල්‍ය ප්‍රවේශය මගින් තහවුරු කරනු ලබයි.
2.අනාගත රාජ්‍ය සේවකයින් හැඩ ගැස්සවීම
අනාගත රාජ්‍ය සේවකයින් වීමට සිටින තරුණ පිරිස ශක්තිමත් කරන අත්තිවාරමක් සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ක්‍රියා කරයි. ඔවුන් හැඩගස්සන එම වසර කිහිපය තුල සුපිලිපන්නතා හරයන් සහ අවංකබව ඔවුන් තුල ඇති කිරීම තුලින් දූෂණ ක්‍රියාවලට එරෙහි පරපුරක් ඇති කිරීම මෙම ක්‍රියාන්විතයේ අපේක්ෂාවයි.
3.සුවිශේෂී ඩිප්ලෝමා පාඨමාලා
සුපිලිපන්නබව, දූෂණ නිවාරණය සහ අල්ලස හා දූෂණයේ දුර්විපාක ආවරණය වන සේ සකස් කල ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කෙරේ. මෙවැනි පිලිගත් පාඨමාලාවක් තුලින් සිසුන් හට ආචාරධර්ම සහ යහපාලනය පිලිබඳ විධිමත් සුදුසුකමක් ලබා දෙනු ඇත.
4.ක්‍රම ප්‍රතිසංස්කරණ නිර්දේශ
ආයතනික සහ සමාජීය මට්ටමින් අල්ලස හා දූෂණය වැලැක්වීම ඉලක්ක කල, පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහා වූ නිර්දේශ කොමිෂන් සභා නිවාරණ අංශය සහ විශ්වවිද්‍යාල ප්‍රජාව එක්ව සකස් කරනු ඇත.
5.ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම
අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණක් ලෙස දූෂණය වැලැක්වීම ඇතුලත් කල ජාතික විශ්වවිද්‍යාල අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මෙම හවුල්කාරීත්වය දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරනු ඇත.
අනාගත පරපුර වෙනස් කිරීම
මෙම අවබෝධතා ගිවිසුම, ආයතන අතර ඇති කර ගන්නා සහයෝගීතාවයකින් ඔබ්බට යයි. විශ්වවිද්‍යාල තුලට දූෂණ විරෝධී අධ්‍යාපනය එබ්බවීම තුලින්, ශ්‍රී ලංකාව විසින් සුපිලිපන්නතා ආකල්පය සහිත පරපුරක් ඇති කිරීම සඳහා ආයෝජනයක් කරනු ලබයි. මෙම වැඩ පිලිවෙල තුලින් බිහිවන උපාධිධාරීන් ආචාරධර්ම වලින් පිරිපුන් පිරිසක් ලෙස රාජ්‍ය සේවයට, පුද්ගලික අංශයට සහ සිවිල් සමාජයට පිවිසෙනු ඇත.
මේ වනාහී මෙම කටයුත්ත සිදු කිරීමට සුදුසු ම කාලයයි. රාජ්‍ය ආයතන පිලිබඳ ව මහජන විශ්වාසය ගොඩ නැගීමටත්, යහපාලනය සවිමත් කිරීමටත් අප රට කටයුතු කරමින් සිටින මෙවැනි යුගයක, ඉතිහාසය පුරාවට ම විපර්යාස කාරකයන් වූ විශ්විද්‍යාල සිසුන්, දූෂණයට එරෙහි වීම සඳහා අවශ්‍ය දැනුමින් හා මෙවලම්වලින් සවිබල ගැන්වීම, දූෂණය සම්බන්ධයෙන් අප රටේ වූ මුහුණුවර ඉදිරි දශක ගණනාවක් පුරාවට වෙනස් කරනු ඇත.
මෙම සුවිශේෂී අවස්ථාවට සපැමිණි සම්භාවනීය අමුත්තන්
අප රටේ උසස් අධ්‍යාපනය හා දූෂණ විරෝධී ප්‍රයත්නය හා සබැඳි ප්‍රධාන චරිත මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වූහ.
එහි දී, අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව වෙනුවෙන්,
• සභාපති - විනිසුරු W.M.N.P. ඉද්දවෙල මහතා
• කොමසාරිස් - නීතීඥ K.B. රාජපක්ෂ මහතා
• කොමසාරිස් - ජනාධිපති නීතීඥ චේතිය ගුනසේකර මහතා
• අධ්‍යක්ෂ ජනරාල් - මහාධිකරණ විනිසුරු R.S.A. දිසානායක මහතා
• කොමිෂන් සභාවේ අනිකුත් ආරාධිතයින් ද
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවෙන්:
• විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සභාපති - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා
• විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් - ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා
• විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජ්‍ය ලේකම් (අධ්‍යයන කටයුතු) - ආචාර්ය ජිනාදරී විජේසිංහ මහත්මිය ද
විශ්විවිද්‍යාල නියෝජනය කරමින්:
• කොළඹ විශ්වවිද්‍යාලය, කැළණිය විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, විවෘත විශ්වවිද්‍යාලය, ද්‍රශ්‍ය හා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද,
• මෙම දූෂණ විරෝධී ප්‍රතිපත්තිය ඉදිරියට රැගෙන යන්නා වූ මීලඟ පරපුර සංකේතවත් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් 15 දෙනෙක් ද සහභාගී වූහ.
අපේක්ෂා සහගත අනාගතයක්
අප රටේ සියලු ම විශ්වවිද්‍යාලවල පරිපාලනය සහ සංවර්ධන කටයුතු සිදු කරන ප්‍රධානත ම ආයතනය ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කරන බැවින්, ශ්‍රී ලංකාවේ දස දෙස පිහිටි සියලු විශ්වවිද්‍යාල තුල මෙම දුෂණ විරෝධී වැඩසටහන සිදු වන බවට මෙම සහයෝගීතාවෙන් තහවුරු වේ. මෙම සහයෝගීතාව ආයතන ද්විත්වයක් අතර ඇති කර ගත් ගිවිසුමක් පමණක් ම නොවේ; එය සමස්ථ පරපුරක් තුල ආචාරධර්ම සහ සදාචාරත්මක බව ඇති කිරීම සඳහා දරන්නා වූ ප්‍රයත්තයකි.
ඉතිහාසයේ පටන් ශ්‍රී ලංකාවේ වැදගත් සමාජ ව්‍යාපාරවල මූල බීජය වැපිරූ විශ්වවිද්‍යාල තුල පවතින එම පරිවර්තනීය ශක්තිය, සුපිලිපන්නබව හා යහපාලනය ඇති කිරීම සඳහා උකහා ගැනීම මෙම අවබෝධතා ගිවිසුමෙන් සිදු කෙරේ. මෙම හරයන් ගෙන් පිරි උපාධිධාරීන් මෙරට වගකිවයුතු තනතුරුවලට පැමිණි පසු ඉදිරි වසරවල දී මෙහි සාර්ථකත්ව සත්‍ය වශයෙන් මැන ගත හැකි වනු ඇත.








