අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක යන අය 2014 වර්ෂයේ දී අවිධිමත් ආකාරයට තමන්ගේ දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරවීම සිදුකර ඇතැයි කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව කොමිෂන් සභාවේ සභාපති ඇතුඵ සාමාජිකයන් තිදෙනාගේ විධානය පරිදි දූෂණ විරෝධී පනතේ 42 (1) වගන්තිය යටතේ මූලික පරීක්ෂණයක් සිදුකරන ලදී.
කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට විරුද්ධව ලැබුණු පැමිණිල්ලක් වූ බැවින් මෙම පැමිණිල්ල පිළිබඳව ප්‍රමුඛතාවය ලබාදී කඩිනමින් විමර්ශනය කරන ලද අතර, ප්‍රස්තුත කරුණ පිළිබඳව සමාජ මාධ්‍යන්හි පසුගිය දිනවල විශේෂ අවධානය යොමුවී තිබීම හේතුවෙන් අදාල විමර්ශනයේ ප්‍රගතිය ජනමාධ්‍ය ආයතන වෙත ඉදිරිපත් කරනු ලැබේ.
අදාල විමර්ශනය තුළ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් වාර්තා කැඳවන ලදී. අධිකරණ නිලධාරීන්ගේ දරුවන් පාසල් වලට ඇතුළත් කිරීම පිළිබඳව අංක SCFR 235/2011 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ මත අදාල දරුවා පාසලට ඇතුළත් කිරීම සිදුවී ඇති බව නිරීක්ෂණය වී ඇත. එම වර්ෂයේ මෙම දරුවා පමණක් නොව අධිකරණ නිලධාරීන්ගේ තවත් දරුවන් ද කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ඇති බව ද නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව, ඉහත දරුවා පාලසට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය තුළ ආයතනික ක්‍රමවේදයන්හි අක්‍රමිකතාවයක්, පක්ෂග්‍රාහී හෝ අනීතික ක්‍රියාවක් සිදුව ඇති බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බැවින් මෙම පැමිණිල්ල අවසන් කිරීමට කොමිෂන් සභාව තීරණය කරන ලදී.








