අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.09.25 වන දින සිදු කරන ලද වැටලීම්වල දී ගොවිජන සංවර්ධන නිලධාරියෙකු , කාර්යාල සේවක සේවයේ නිලධාරියෙකු සහ කාන්තා ආරක්ෂක නිලධාරිණියක අත්අඩංගුවට ගෙන ඇත. වැටලීම් 02කට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු වී ඇති අතර, එම වැටලීම් 02කට අදාළ තොරතුරු පහත පරිදි වේ.
- දෙනියාය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුට අයත් මාර්ගය ආසන්නයේ ඇති කුඹුරු ඉඩමක කන්ටේනර් පෙට්ටියක් තබා තිබිය දී එය පරීක්ෂා කිරීම සඳහා දෙනියාය ගොවිජනසේවා ප්‍රාදේශීය කාර්යාලයේ සැකකාර ප්‍රාදේශීය නිලධාරියා පැමිණ එය පරීක්ෂා කිරීමෙන් පසුව ඒ සඳහා පැමිණිලිකරුට සහන සැලසීමටත්, නීතිය මඟින් කටයුතු නොකර සිටීමට සහ පැමිණිලිකරුට ඉහත කටයුතු කරගෙන යාමට ලිපියක් නිකුත් කිරීම වෙනුවෙන් රු.25,000/- (රුපියල් විසිපන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත දෙනියාය, ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවයේ නියුතු ගොවිජන සංවර්ධන නිලධාරියෙකු 2025.09.25 වන දින පෙ.ව.11.20ට පමණ දෙනියාය ගොවිජන ප්‍රාදේශීය කාර්යාලයේ දී අත්අඩංගුවට ගන්නා ලදී.
- සමන්තුරෛ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, රියදුරු බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් රුපියල් 11,000/- (රුපියල් එකළොස්දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා එම මුදල රු.10,000/- (රුපියල් දසදහස) දක්වා අඩුකර, ලබා ගැනීමේ චෝදනාව මත වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන අංශයේ කාර්යාල සේවක සේවයේ නිලධාරියෙකු 2025.09.25 වන දින ප.ව.1.50ට පමණ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලයේ පොදු වැසිකිළිය අසල දී සහ මහරගම, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවයේ නියුතු කාන්තා ආරක්ෂක නිලධාරිණියක 2025.09.25 වන දින ප.ව.2.40ට පමණ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ප්‍රධාන දොරටුව අසල දී අත්අඩංගුවට ගන්නා ලදි.








