කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, රු.2,300/- (රුපියල් දෙදහස් තුන්සියය) ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන් මත කල්මුණේ කාර්ති උසාවියේ, කාර්ති විනිසුරුවරයෙකු සහ ඔහුගේ බිරිඳ 2025.08.18 වන දින ප.ව.5.56 සහ ප.ව.5.57 ට මරදමුනේ 03 ලිපිනයේ පිහිටි කාදියාර් කාර්යාලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
පැමිණිලිකාරිය දික්කසාද වී ඇති සැමියා විසින් ළමයින් තිදෙනා වෙනුවෙන් මාසිකව ලබාදෙනු ලබන නඩත්තු මුදල කාර්ති උසාවිය හරහා ලබා ගැනීමට කටයුතු කිරීමේ දී එම මුදල් පැමිණිලිකාරියට ලබාදීම සඳහා කටයුතු කර දීම වෙනුවෙන් මාසිකව රු.300/- (රුපියල් තුන්සිය) බැගින් ඉල්ලා මේ වන තෙක් ලබා ගෙන ඇති අතර, 2025.08.18 වන දින ඉහත පරිදි නඩත්තු මුදල් කාර්තු උසාවිය හරහා ලබා දීමට කටයුතු කර දීම වෙනුවෙන් රු.300/- (රුපියල් තුන්සිය) මුදල සහ දැනට ගෙවනු ලබන රු.18,000/- (රුපියල් දහඅටදහස) ක නඩත්තු මුදල වැඩිකර, ලබාදීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා රු.2000/- (රුපියල් දෙදහසක) මුදලක් වශයෙන් සම්පූර්ණ රු.2,300/- (රුපියල් දෙදහස් තුන්සියය) ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ දී මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.








